• kumara59

Path to Nibbana

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ ඇලුණු තැනැත්තා සත්ත්වයා වශයෙන් හඳුන්වනු ලබයි. ඒ සත්ත්වයා එහි ඇලී වාසය කරන තාක් ඔහුට හිමිවන්නේ දුකක්මැයි. සත්ත්වයාට එම පඤ්චස්කන්ධයට ඇලීමෙන් හටගත් දුකින් නිදහස්වීමට ඇති ප්‍රතිපදාව හෙවත් වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ අර්හත් යන සතරමග ඵලවලට පත් උත්තමයන් ආර්යයන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් ඒ ආර්යභාවයට පැමිණීමට මේ ප්‍රතිපදාව අනුගමනය කළ නිසා එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද හඳුන්වයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මය තුළ විවිධ නම්වලින් හඳුන්වයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී එය මැදුම් පිළිවෙත නමින් දක්වා තිබේ. සිත ඇලෙන සහ ගැටෙන අන්ත දෙකටම යොමු නොකොට මධ්‍යස්ථව පවත්වාගෙන යන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා එය මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළවෙත නමින් දක්වා තිබෙනවා. බුද්ධාදි ආර්යයන් විසින් පුරුදු කරනු ලබන ප්‍රතිපදාවක් වන බැවින්ද, ආර්යභාවයට පමුණුවාලන ප්‍රතිපදාවක් වන බැවින්ද, තණ්හාව නිසා හටගන්නා පඤ්චස්කන්ධයට ඇති උපාදාන දුක නැති කරන අංග අටකින් යුක්තවන බැවින්ද, උත්තම නිවන කරා පමුණුවාලන මාර්ගය වන බැවින්ද මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වනු ලබයි.

චතුරාර්ය සත්‍යයේ න්‍යායත්මක පැත්තක් මෙන්ම ප්‍රායෝගික පැත්තක් ද තිබෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ ප්‍රායෝගික පැත්තයි. අනෙක් කාරණා තුන ම න්‍යායාත්මක පැත්තට ඇති නැඹුරුව වැඩියි. දුක, දුකට හේතුව වන තණ්හාව, දුක නැති කිරීම හෙවත් නිවන යන කාරණා දැනුම පදනම් කර ගෙන වටහා ගත යුතු දේයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු දුක නැති කිරීමට නොඑසේ නම් දුකට හේතුව වන තණ්හාව නැති කිරීමට පුරුදු කළයුතු ප්‍රායෝගික කි‍්‍රයාකාරකම් සමුදායයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වන මාර්ගාංග පුරුදු කළ යුත්තේ ප්‍රායෝගික ජීවිතය තුළදීයි. උදාවන හිරුට අරුණෝදය පූර්වංගම වන්නා සේ කල්‍යාණ මිත්‍රත්වයද, චතුපාරිශුද්ධි ශීලයද, කත්තුකම්‍යතා කුසලච්ඡන්දයද, ච්ිත්ත සමෘද්ධියද, ඤාණ සම්පත්තියද, අප්‍රමාණ සම්පත්තියද, යෝනිසෝමනසිකාරයද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්වගාමීව සිටින බවයි බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී වදාළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට නම් ඉහත දක්වන ලද කරුණු ජීවිතය තුළ හුරු පුරුදු කර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. බොහෝ දෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ගැන උනන්දු වූවාට ඉහත දක්වන ලද කාරණා තමන් විසින් සම්පූර්ණ කර තිබේදැයි කල්පනා කර බලන්නේ නැහැ. ඉහත දක්වන ලද කාරණාවන් නිසි ලෙසින් සම්පූර්ණ කර නොමැති පුද්ගලයාට මේ මාර්ගාංග නිසි ලෙසින් වැඩෙන්නේ නැති අතර, නිවන සාක්ෂාත් කර ගැනීමද අපහසු වෙයි. එනිසා මෙම ලිපියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත සාකච්ඡාවට බඳුන් කෙරේ.

සම්මා දිට්ඨිය – චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇති මනා දැනුමයි. මහණෙනි, දුක පිළිබඳ දුකෙන් හට ගැනීම පිළිබඳව, දුකෙන් නැතිවීම පිළිබඳව, දුක නැතිකිරීමේ වැඩ පිළිවෙළ යම් දැනීමක් වේද මහණෙනි, මෙය සම්මා දිට්ඨිය යැයි කියනු ලැබේ. ඉහත කියන ලද චතුසච්ච සම්මා දිට්ඨිය කොටස් දෙකකින් යුත්ක වෙයි. ආරමිභක අවස්ථාවේ මාර්ගාංගයක් ලෙසින් කි‍්‍රයාත්මක වන්නේ දැනුම පදනම් කරගත් එකකි. දුක්ඛේ ඤාණං, සමුදයේ ඤාණං ආදී ලෙස දක්වා ඇත්තේ ඒ දැනුමයි. නිවන් සුව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පසු ඇතිවන්නේ චතුරාර්ය සත්‍යය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයයි. මනා ලෙස දැන ගැනීම සිදුවන්නේ අවබෝධයත් සමඟයි. මේ අවස්ථා දෙකම සම්බෝධිය හා බැඳී පවත්නා නිසා බෝධිපාක්ෂික ධර්ම ලෙස හඳුන්වයි. සම්මාදිට්ඨිය උපදවා ගැනීමට දුක්ඛාදි සත්‍යයන් ගැන ඉගෙනීමද එය භාවනා ලෙස නැවත නැවත සිතීමද යන කාරණා උපකාරි වෙයි.

සම්මා සංකප්ප – තම සන්තානයේ ඇතිවන්නා වූ නිකෙලෙස් සිතිවිලිය. නිවන් මඟ හෙළිකරන නිකෙලෙස් සිතිවිලි හෙවත් කල්පනාවන් වශයෙන් දක්වා තිබෙන්නේ සත්ත්වයා ලෝකයට බැඳ තැබීමට හේතුවන කාම වස්තූන්ට ඇති ආශා අත්හැරීමේ සිතිවිලි (නෙක්ඛම්ම සංකප්ප), සන්තාන ගත ද්වේශය නැති කිරීමට ඉවහල් වෙන මෛත්‍රි සිතිවිලි (අව්‍යාපාද සංකප්ප), විහිංසා විතර්කයන් නසන කරුණා සිතිවිලි (අවිහිංසා සංකප්ප) යන සංකල්පනා තුනයි. ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුශල මූලයන්ට ප්‍රතිපක්ෂ වූ කුසල සිතිවිලි තුනක් වන මේ ත්‍රිවිධ සංකල්පනා සත්ව සන්තානය පිරිසුදු කරයි. සම්මා වාචා- කුසල මූලයන්ගෙන් හටගත් නිවන කරා නැඹුරු වූ යම් කථාවක් වේනම්, එය සම්මා වාචාව ලෙස හඳුන්වයි. හොඳ යැයි සම්මත සෑම කථාවක් ම නිවනට උපකාරී වන්නේ නැත. ඒ හොඳ කථාවන් තුළත් රාගාදී කෙලෙස් යම් පමණකට තිබිය හැකිය. එවන් කෙලෙස් සිතිවිලි වලින් තොර කුසල සිතිවිලි වලින් යුතු වචන හෙවත් කථාව සම්මා වාචාවයි. බොරුකීමෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචනයෙන් , හිස් වචනයෙන් වැළැකීම සම්මා වාචාව වෙයි.

සම්මා කම්මන්ත- මනා වූ කායික ක්‍රියාකාරකම් සම්මා කම්මන්ත නමින් හැඳින්වේ. කයින් සිදුකරනු ලබන දුශ්චරිතයන් සිදු නොකිරීමත්, ඒවා සිදු කිරීමට ඇති කැමැත්ත අත්හැරීමත් ඒ දුශ්චරිතයන්ගෙන් වැළැකීම සේ ම කුසල මූලික සුචරිතයන්ගෙන් යුක්තවීමත් සම්මා කම්මන්ත නම් වෙයි. සත්ත්ව ඝාතනයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් වැළැකීම සිදු කරන අතරම ඒවා සිදු කිරීමට ඇති ආශාවද අත්හැර දැමීම සම්මා කම්මන්ත ලෙස අදහස් කෙරේ.

සම්මා ආජීව - රාගාදී කෙලෙස් දහම් ඇති නොවන ලෙසින් කරනු ලබන යහපත් දිවි පැවැත්ම සම්මා ආජීවය ලෙසින් දැක්විය හැකියි. ආජීවය යනු රැකියාව ම නොවේ. ජීවත්වීම පිණිස සිදුකරනු ලබන සියලු ක්‍රියාකාරකම් ආජීව වශයෙන් හැඳින්වෙයි. දිවි පැවැත්මට සිදු කරනු ලබන සියලු ක්‍රියාකාරකම් යහපත් නොවේ. එසේම සම්මා යන වචනයෙන් දක්වා ඇත්තේ යහපත්කම ම නොවේ. කෙලෙසුන්ගෙන් තොර බවයි. මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක තෙමේ වැරැදි ආජීවය අත්හැර සම්මා ආජීවයෙන් ජීවිතය පවත්වාගෙන යයිද, ඇලීම්,ගැටීම්වලින් තොර ජීවන පැවැත්මක් පවත්වයි ද එය සම්මා ආජිවයයි.

සම්මා වායාම- වායාමය යනු වෑයම් කිරීම හෙවත් උත්සාහය යි. නිවන පිණිස වන යම් උත්සාහයක් වේනම් එය සම්මා වායාමය යි. නිවන අවබෝධ කරනුයේ පිරිසුදු සිතයි. සිත කිළිටි කරනුයේ කෙලෙස් සිතිවිලියි. කෙලෙස් සිතිවිලි සිතින් ඉවත් කිරීමට කුසල් සිතිවිලි වැඩිදියුණු කළ යුතු වෙයි. ඒ අකුසල් සිතිවිලි ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් සිතිවිලි වැඩිදියුණු කිරීම පිණිසත් යම්කිසි උත්සාහයක් වේනම් එය සම්මා වායාමය යි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය සම්මා වායාමට අයත් වෙයි.

සම්මා සතිය – නිවන පිණිස වන නිවනට උපකාරි වෙන යම් සිහියක් වේ නම්, එය සම්මා සතියයි. කායික ක්‍රියාකාකරම් සම්බන්ධයෙන්්, වේදනාවන් විඳීමෙහිද, චිත්ත ක්‍රියාකාරීත්වය තුළදීද සිතිවිලි පරිහරණයේදී කෙලෙස් ඇති නොවන ලෙසින් සිහිය පිහිටුවා ගැනීම සම්මා සතියයි. සතර සතිපට්ඨානය වැඩෙන ලෙස කටයුතු කිරීම සම්මා සතියයි. සම්මා සතිය සිත ඇලීමෙන් සහ ගැටීමෙන් වළක්වා ගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමට උපකාරි වෙයි.

සම්මා සමාධි- සමාධිය යනු සිතෙහි ඇති වන එකඟතාවයි. සිතේ කුසල් අරමුණු නිසා ඇතිවන එකඟතාව සම්මා සමාධි වශයෙන් දක්වා තිබේ. සම්මා සමාධියට සිත සන්සුන් කිරීමටත් නාමරූප ධර්මයන්ගේ අනිත්‍යාදි යථා ස්වභාවය යථා පරිදි ම වටහා ගැනීමට බෙහෙවින් උපකාරී වෙයි. සිත කුසල අරමුණක පිහිටුවා උපදවා ගත් ධ්‍යානංග තුළින් පඤ්චනීවරණ ධර්ම යටපත් කර ගත් තැනැත්තාට ඇතිවන සම්මා සමාධිය හෙවත් කුසල සිතෙහි එකඟතාව යථාභූත ඤාන දර්ශනයට උපකාරී වෙයි.

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි

0 views
  • Facebook Social Icon
  • Google+ Social Icon
  • Instagram Social Icon
  • Twitter Social Icon
  • YouTube Social  Icon

Created and maintained by KumaraPhotography